ලෝක උරුමයක් ලෙස යුනෙස්කෝ සංවිධානය විසින් ප්‍රකාශයට පත්කර ඇති එසේම බෞද්ධ ජනතාවගේ පූජනීය ස්ථානයක් වන නේපාලයේ පිහිටා ඇති ලුම්බිණිය, අන්‍යාගමික බලපෑම් මත ක්‍රමයෙන් පරිහානියට පත්වෙමින් පවතින බව කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අංශයේ මහාචාර්ය ප්‍රියශාන්ත ගුණවර්ධන මහතා ‘මව්බිම’ට පැවැසීය.
සිදුහත් කුමරුගේ උප්පත්තිය සිදුවූ ලුම්බිණියට මීටර් දහයක් පමණ දුරින් බුදු දහමට සහ බුදුරුවට නිඟා දෙන වෙළෙඳ පුවරු රාශියක් තිබෙන බවත්, එය බෞද්ධ දර්ශනයට කෙරෙන ඉමහත් අපහාසයක් බවත් මහාචාර්යවරයා පවසයි.
ලංකාව හැරුණු විට ඉන්දියාව, මියන්මාරය, කාම්බෝජය, ජපානය, චීනය, ටිබෙටය වැනි රටවල මිලියන 400ක් පමණ බෞද්ධ ජනතාවක් වාර්ෂිකව ලුම්බිණිය නැරැඹීමට පැමිණෙති. බුදුන් උපන් භූමිය වන්දනාමාන කරන බෞද්ධ ජනතාවට එයට යාබදව පිහිටා ඇති වෙළෙඳසල්වල බුදුන්ට නිඟාවන වෙළෙඳ පුවරු සවිකර ඇති අයුරු දැක ගැනීමෙන් සංවේගයක් ඇතිවන බවද ප්‍රියශාන්ත ගුණවර්ධන මහතා පවසයි.
එම වෙළෙඳසල්වල බුදුන් වහන්සේගේ රුව යෙදූ ‘බුද්ධා රෙස්ටුරන්ට්’, බුද්ධා හෙයාර් කටින්’, ‘බුද්ධා ගෙස්ට් හවුස්’ වශයෙන් බුදු දහමට නිඟාදෙන වෙළෙඳ පුවරු ඉදිකර තිබේ. ක්‍රමයෙන් නේපාලය පුරා බෞද්ධ දර්ශනයට විරෝධී මෙවන් ක්‍රියාදාමයන් හිස ඔසවමින් පවතින බවත්, නේපාලයේ ජනගහනයෙන් බෞද්ධයන් සිටින්නේ 8%ක පමණ ප්‍රතිශතයක් බැවින් මේ තත්ත්වය අනතුරුදායක බවත් මහාචාර්යවරයා සඳහන් කරයි. අද වන විට බුදුන්ගේ රුව සහ නමින් තැබෑරුම් පවා එරට විවෘත වෙමින් පවතින බද මහාචාර්යවරයා කීය.
මේ තත්ත්වය පිටුදැකීම සඳහා බෞද්ධ රටවල් හා එක්ව ශ්‍රී ලංකාව ඊට එරෙහිව නැඟී සිටිය යුතු බවත්, එයට රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම අවශ්‍ය බවත් මහාචාර්යවරයා පැවැසීය.
අතීතයේ බුද්ධගයාව වල්වැදී ගිය සමයේ අනගාරික ධර්මපාලතුමා මැදිහත්ව මහා බෝධි සමාගම පිහිටුවා ‘සිංහලයෙනි අවදිවව්- බුද්ධගයාව බේරාගනිව්’ යනුවෙන් හඬ නඟමින් ජාතිය අවදි කොට බුද්ධගයාව බේරාගත් බවත්, එවන් නැඟී සිටීමක් අද ලුම්බිණිය බේරා ගැනීමටද බෞද්ධ ජනතාව තුළ ඇතිවිය යුතු බවත් මහාචාර්ය ප්‍රියශාන්ත ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවැසුවේය.
සමිත් මධුරංග mawbima.lk'
Copyright © 2013 Mawbima